Pages

Saturday, November 14, 2015

ජීවන රටාවේ ඇති වන වෙනස්කම් නිසා මිනිසා ගොදුරු වන ප්‍රධානම රෝගය දියවැඩියාව

                   
ලොව අන් රටවල මෙන්ම ශ්‍රී ලංකාවේ ද බෝ නොවන රෝග අතුරින් බහුතර ජනතාවක් ගොදුරු වන බෝ නොවන රෝගය වන්නේ දියවැඩියාවයි. රටේ ජනතාව දියවැඩියා රෝගීන් බවට පත්වන ප්‍රමාණය දිනෙන් දින ඉහළ යන බව පෙනේ. දියවැඩියා රෝගයට ගොදුරු නොවීමටත් එය වළක්වා ගැනීමටත් අප සූදානම් ද? යන ගැටලුව නිරන්තරයෙන් සමාජයේ පවතී. මේ පිළිබඳ සකච්ඡා කිරීම මෙම ලිපියේ අරමුණයි.

දියවැඩියා රෝගයට ගොදුරු වූ විට සිරුරට අවශ්‍ය නිසි සීනි මට්ටම පාලනය කරගැනීමට නොහැකි වූ විට එම රෝගියාට විශාල වශයෙන් පීඩා විදින්නට සිදු වන්නේ සමහර විටකදී වකුගඩු රෝගය වැලඳී සමහර විට හෘදය රෝගය වැළඳී එසේ නොමැති නම් අංශභාගය වැලැඳී හෝ ඇස් පවා අන්ධ වීමෙනි. නැතහොත් දෙපා ආශ්‍රිතව ඇතිවන තුවාල හේතුවෙනි. මේ එයින් කිහිපයක් පමණි. කෙසේ නමුත් දියවැඩියාව සෑදීම වළක්වා ගැනීම ඉතාම වැදගත් වන අතර දියවැඩියාව වැලැඳී ඇති අය එම රෝගී තත්ත්වය පාලනය කර ගැනීමට කොපමණ වෛද්‍ය උපදෙස් ලබා ගත්ත ද ආහාර හා පෝෂණ වේදය පිළිබඳ උපදෙස් ලබා ගත්ත ද ඖෂධ ලබා ගැනීම පිළිබඳ උපදෙස් ලබා ගත්තද ඒවා නිසි ලෙස පිළිපදින්නට උත්සුක වෙනවා ද යන්න ගැටලු සහගතය. දියවැඩියා රෝගයෙන් ඔබ පෙළෙන්නේ නම් එසේ නොකරන්නට ඔබ වග බලා ගත යුතුවේ. දියවැඩියා රෝගීන් අතර විවිධ මට්ටම්වලට අයත් දියවැඩියා රෝගීහු සිටිති. මේ අය අතර ඉන්සියුලින් මත යැපෙන type- 1 කාණ්ඩයට අයත් දියවැඩියා රෝගීන්ද විශේෂයෙන් මැදි වයසේ දී දියවැඩියාවට ගොදුරු වන රෝගීන් ද ඉන්සියුලින් අත්‍යවශ්‍ය නොවන type-2 දියවැඩියා රෝගීහු ද ඒ අතර ප්‍රමුඛ ස්ථානයක් ගනිති.

දියවැඩියාව ගැන දැනුවත් වෙමු

අද සමාජය භෞතිකමය වශයෙන් විශාල වශයෙන් වෙනස්කම් රැසකට මුහුණ දී සිටියි. මෙයට සාපේක්ෂව මිනිසා ද වේගවත් ගමනක යෙදෙයි.මෙහි දී මිනිස් ශරීරය ඇතුළත සිදුවන වෙනස්කම් වලට මනුෂ්‍ය ශරීරයේ රසායනික පරිසරය තුළත් සූදානමක් තිබිය යුතුය. එසේ නොමැති වූ විට සිරුර තුළ යම්යම් වෙනස් කම් අර්බුදකාරී තත්ත්වයන් ඇතිවේ. එවිට ඔබ නොදැනුවත්වම රෝගී තත්ත්වයනට ගොදුරු වේ.

මේ තුළ අප ජීවන රටාවේ ඇති වන වෙනස් කම් නිසා අප ගත යුතු සමබල ආහාර වේල වෙනස් වේ. ව්‍යායාම සඳහා ඇති ඉඩ කඩ අඩුවේ. මානසික ආතතිය වැඩිවේ. මේ නිසා මිනිසා ගොදුරු වන ප්‍රධානම රෝගය වන්නේ දියවැඩියාවයි. මේ නිසා දියවැඩියාව පාලනය කර ගැනීම හෝ වළක්වා ගැනීම අප විසින්ම කළ යුතු දෙයක් වේ. එයට යහපත් ජීවන රටාවක් ඔබටම ගැළපෙන පරිදි සකසා ගැනීම අත්‍යවශ්‍යය.

නිවැරදි ආහාර වේලක්

කුසට සහ සිරුරට අවශ්‍ය පරිදි නිවැරදිව ගුණාත්මක භාවයෙන් යුතු සමබල ආහාර වේලක් හැමවිටම ප්‍රමාණාත්මකව ලබා ගැනීම වැදගත් වේ. එහි දී වැදගත් වන්නේ සකසන ලද ආහාර නොව ස්වභාවයෙන්ම ලබා ගත හැකි ආහාරයන්ය. කුරුට්ට සහිත රතු හාල්, ධාන්‍ය ඇට වර්ග,වැනි ලාංකේය ආහාර ඉතා යෝග්‍යය. මේවා පිටිකර ආහාර සෑදීම දියවැඩියා රෝගයට එතරම් උචිත නොවේ. ඔබ ගන්නා ප්‍රධාන ආහාරවේල් තුනේ ප්‍රධාන අංගයක් ලෙස කුස පිරවීම සඳහාත් ආහාර ජීර්ණය කාලය අවම කර ගැනීම සඳහාත් නැවුම් එළවළු එකතු කර ගන්න. මෙයටම ප්‍රෝටීන් ලෙස ධාන්‍ය වන මුං, කඩල,කවුපි ව්‍යාංජනයක් ලෙස එක් කර ගන්න.

එලෙසම ජලය අවශ්‍ය පමණ පානය කරන්න. තවද භෞතීයව පිරිසුදු කරන ලද තෙල් හා පොල් මඟින් සියයට 25ක් වත් සිරුරට අවශ්‍ය තෙල් අවම වශයෙන් ලබා ගන්න. ඔබ මාංශ භක්ෂක නම් මාළු හෝ එවැනි මාංශයක් එකතු කර ගන්න. පළතුරු වුවද මධ්‍යම ප්‍රමාණයෙන් ලබා ගත හැක. මෙවැනි සමබල ආහාරවේලක් ලබා ගැනීමෙන් සිරුරේ සීනි මට්ටම මෙන්ම කොලෙස්ට්‍රෝල් මට්ටම ද වැඩිවන්නේ නැත.

ඖෂධ නිසි ලෙස ලබා ගනිමු

දියවැඩියාව සඳහා වෛද්‍යවරයකු ඖෂධ ලබා දුන් විට එම මාත්‍රාවන් නිවැරදි වෙලාවට නිවැරදි ආකාරයෙන් අනිවාර්යයෙන්ම ලබා ගන්නට වගබලා ගන්න. මෙවැනි ඖෂධ ඔබට මසකට හෝ දෙකකට සරිලන පරිදි ගණන් මිණුම් ඇතිව වෛද්‍යවරයා නිර්දේශ කරනු ඇත. මෙම ඖෂධ සුදුසුකම් ලත් ඖෂධවේදියකුගෙන් විස්තර සහිතව ලබා ගන්නට අමතක නොකරන්න. ඔබට මේ සඳහා රජයේ ඔසුසල ප්‍රයෝජනවත් වනුඇත‍. ඔබ නැවත නැවත ඖෂධ ගැන ප්‍රශ්න කරන්න. මිල අඩු නිසි ප්‍රමිතියෙන් යුතු ඖෂධ ඔබ ලබාගන්න. මෙම ඖෂධ සමහර විට ආවරණය කර නොමැති නම් පෙති වශයෙන් ලබා ගත්තේ නම් ඒවා බෝතලයක දමා හොඳින් වසා වියලි ස්ථානයක හිරු එළිය නොවැටෙන සේ නිතර පහසුවෙන් ගත හැකි ස්ථානයක තබා ගන්න. වෛද්‍යවරයා මසකට බෙහෙත් ලබා දුන්නා නම් ඒ මාසය අවසන් වන්නට ප්‍රථම වෛද්‍යවරයා මුණ ගැසී ඖෂධ ලබා ගන්න මතක තබා ගන්න.

ව්‍යායාම නිසි ලෙස කරමු

දිනකට විනාඩි 30ක් වත් සැමදාම එකම වෙලාකට සිදු කරන්න. ඇවිදීම ඉතා යෝග්‍යය. ඔබගේ සිරුරේ නිතර ඇතිවන බිබිලි, පිළිබඳ සැලකිලිමත් වන්න. හැමදා කකුලේ යටි පත්ලේ සිටඉහළට නිරීක්ෂණය කරන්න. සීරීම් කෘමි සතුන් දෂ්ඨ කිරීම් ගැන අවධානයෙන් සිටින්න.එම ස්ථාන වල තුවාල ඇතිවීම වළක්වා ගන්න. තවද ඔබ රුධිර පරීක්ෂණ ඇතුළු අනෙකුත් පරීක්ෂණ නිසි වේලාවට සිදු කරන්න වග බලා ගන්න. ඒවා යහපත් මට්ටමේ ඇත්දැයි නිවැරදිව දැන ගන්න.

මානසික ආතතිය වළකාගනිමු

ඔබේ ජීවිතය ද යම් මට්ටටකට අනුව සැලසුම් කරගන්න. එදිනෙදා ඇති වන ප්‍රශ්නවලට නිසියාකාරව මුහුණ දෙන්න. එමඟින් මානසික ආතතිය වළකා ගත හැකිය. මේ සඳහා ඔබ නිවෙසේ වැඩකටයුතු සැලසුම් සහගතව සිදු කරන්න. ඉතා සුළු දේ පවා සැලැසුමක් ඇතිව කරන්න. විශේෂයෙන් ආහාර ගැනීමේ දී මේ සැලසුම ඔබට වැදගත් වුන ඇත.

ආපන ශාලා ආහාර අවම කරමු

නිතර නිතර ආපනශාලාවන්ගෙන් ආහාර ගැනීමට ඔබ පුරුදු වුවහොත් පිෂ්ටය අධික, තෙල් අධික මෙන්ම විවිධ රසකාරක යොදා තිබීම හේතු වෙන් ඔබ නොදැනුවත්වම දියවැඩියා රෝගයට ලක්වීමට ඇති ඉඩ කඩවැඩිය. එමෙන්ම දියවැඩියාවෙන් පෙළෙන රෝගියෙක් නම් එය උත්සන්න විය හැක. එනිසා නිවෙසේ දී සකසා ගන්නා සමබල ආහාර ලබා ගැනීමට ඔබ හුරු වීමෙන් මෙම රෝගය පාලනය කර වළක්වාගත හැකි වනු ඇත.
 

0 comments:

Post a Comment