Pages

Wednesday, November 4, 2015

කේන්තිය පාලනය කර ගැනීමට නොවරදින උපදෙස්

කේන්ති යාම යනු ගැහැනු පිරිමි භේදයකින් තොරව ඕනෑම පුද්ගලයෙකුට ‍පොදුවේ සිදුවන  දෙයකි. එසේ වුවද  කේන්තිය පාලනය කර ගැනීමේ හැකියාව අතින්  එක් එක් පුද්ගලයන් විවිධත්වයෙන් යුක්ත වේ. සමහරුන් තම හිතට එන කේන්තිය ක්ෂණිකව පිට කිරීම සඳහා අතට හසුවන දෙයක් ‍පොළොවේ  ගසන්නට පෙළඹේ. තවත් අය  සිය කේන්තිය පාලනය කර ගන්නේ තමාටම රිඳවා  ගැනීමෙනි. කොපමණ   කේන්තියක් තිබුණද එය පිට නොකර නිශ්ශබ්දව  සිටින අයද ඕනෑ තරම් සිටිති. එසේ වුවද  වැඩියෙන් තරහ නොයන   කෙනෙකුට එකවර දරුණු කේන්තියක් ඇති වූ  විට එම පුද්ගලයාගේ  හැසිරීම ඉතා භයානක  විය හැකිය. යමෙකුට එකවර කේන්ති ගිය විට එය පාලනය කරගත හැකි ආකාර කීපයක් පිළිබඳව  මනෝ විද්‍යාඥයන් විසින් ‍පොදු උපදෙස්  මාලාවක්  දී තිබේ. ඔවුන්  පෙන්වා දෙන ආකාරයට කේන්ති  යාම සඳහා හේතුවන  ‍පොදු කරුණු  කීපයක් තිබේ. අධික වෙහෙස, ආතතිය, හිතේ හෝ සිරුරේ  වේදනාව, දුක ආදී කරුණු ප්‍රබලව ඊට හේතුවේ. මෙවැනි හේතු නිසා ඇතිවන කේන්තිය පාලනය කර ගත හැකි ආකාර ද කීපයකි.

1. කතා කරන්නට පෙර සිතා බලන්න
ඔබ අධික කේන්තියෙන් සිටින විට ඔබේ මුවින් පිටවන  වචන පිළිබඳව ඔබට වැඩි  හැඟීමක්  හෝ තැකීමක් නැත. ඒ නිසා ඔබ වැඩි වශයෙන්  අවධානය යොමු කළ යුත්තේ ඔබ සාමාන්‍ය පියවි සිහියෙන්  සිටින මොහොතක  කතා කරන දේවල් ගැන නොව,  කේන්තියෙන් සිටින විට කතා කරන දේවල් ගැනය. යමක් පැවසූ පසු නැවතත් එය ආපසු  ඇද ගැනීමට නොහැකි බව අපි කවුරුත්  දන්නෙමු. ඒ නිසා කේන්තියෙන් සිටින විට කතා කරන දෙය ගැන දෙවරක් නොව තුන් වරක් වුවද සිතා බැලීම ඉතා වැදගත්ය. මන්දයත් ඒ මොහොතේ  ඔබේ මුවින් පිටවන  එක් වචනයක් වුවද අනාගතයේ මහත් බලපෑමක්  ඇතිකළ  හැකි  සිදුවීමකට මුල් විය හැකි බැවිනි.

2. කේන්තියට හේතු පැහැදිලි කර ගන්න
යම් සිදුවීමක් නිසා ඔබ කේන්තියෙන් පසුවන අවස්ථාවක ඔබේ කේන්තියට හේතුව පිළිබඳව  පැහැදිලිි අවබෝධයක් ලබා ගන්න. උදාහරණ ලෙස ඔබ කාර්යාලයේ වැඩ කර මහන්සි වී නිවසට පැමිණෙන විට ඔබේ දරුවන් නිවස අපිළිවෙළ කර දමා ඇත්නම් ඔබට කේන්තියක්  ඇති වීම  ස්වභාවිකය. නමුත් එවැනි අවස්ථාවල දරුවන්ට බැණ වැදී නිවස පිළිවෙළකට අස්පස් කරනවාට  වඩා දරුවන් සිදු කළ දෙය වැරදි  බවත් එය නරක පුරුද්දක්  බවත් ඔවුන්ට පැහැදිලිි කර දී  ඔවුන්ගේ ද උදව් ලබාගෙන   නිවස පිළියෙළ කළ හැකිය.   ඉන් දරුවන්   නැවතත් එම ක්‍රියාව කිරීමෙන් වළක්වා ගත  හැකි  අතරම ඔබේ කේන්තිය පවා  පාලනය කර ගත හැකිවේ.

3. කේන්තිය ගිය විට කණ්ණාඩියක්  ඉස්සරහට යන්න
ඔබ අධික කේන්තියකින් සිටින මොහොතක වහාම කණ්ණාඩියක් ඉදිරිපිටට යන්න. ඉන් පෙනෙන ඔබේ ප්‍රතිබිම්බය සමහර විට ඔබවම බියපත් කරනු ඇති. ඔබ අධික කෝපයෙන්   සිටින විට ඔබේ මුහුණේ  ස්වරූපය  ඔබටම දැකගත හැකිය. එම ස්වරූපය සහ ඔබ සතුටින්  සිනාසෙමින් සිටින විට ඔබේ මුහුණේ  ස්වරූපය  සිතින් සංසන්දනය කරන්න.  එම අවස්ථා දෙක  නිසි  ලෙස සංසන්දනය කළ හැකි වූවොත් ඔබ නැවත කිසිදිනක   කෝපයක්  ඇති කරගන්නේ නම් නැත.

4. කෝපයට ඔබ පාලනය කරන්නට ඉඩ නොදෙන්න
කෝපය  යනු යම් සිදුවීමක් නිසා  ඔබේ සිත තුළ ඇතිවන සාමාන්‍ය හැඟීමකි. ඔබට කුසගින්නක් ඇතිවූ මොහොතක ඔබ ළඟ කන්නට  යමක් නොතිබුණහොත් ඒ මොහොතේ ඔබ කුසගින්න පාලනය කර ගනී.  එසේම පිපාසයක් ඇති වූ විට  එයද සුළු මොහොතකට හෝ පාලනය කර ගන්නට ඔබට පුළුවන. එසේ නම් කෝපයක් ඇති වූ  විට එය පාලනය කර ගන්නට ද ඔබට හැකි විය යුතුය. කෝපය යනු කුසගින්න, පිපාසය වැනි සාමාන්‍ය  හැඟීමක්  වන නිසා ඔබ  විසින් කෝපය පාලනය  කර ගත යුතු අතර කෝපයට ඔබ පාලනය කරන්නට ඉඩ නොදිය යුතුය.

5. ඔබ, අනිත් පුද්ගලයාගේ පැත්තෙන් හිතන්න
කෝපයට පත් ඕනෑම කෙනෙකු සිතන්නේ තමන් නිවැරදි  බවත් අනිත් පුද්ගලයා වැරදි බවත්ය. මේ නිසා ඔබට යම් කෙනෙකු ගැන කෝපයක් ඇති වූ  විට ඔබ සුළු   මොහොතකට ඔබේ පැත්ත ගැන අමතක කර දමා අනිත් පුද්ගලයාගේ පැත්තෙන් සිතන්න. අනිත් පුද්ගලයාට සිදු වූ දෙය ඔබට සිදු වූයේ නම් ඔබ මේ  මොහොතේ   හැසිරෙන ආකාරය සහ කතා කරන ආකාරය ගැන  සිතන්න. එවිට ඔබේ කෝපය  සම්පූර්ණයෙන්ම නැති වී යනු ඇත.  අනතුරුව  දෙදෙනා අතර ඇති වන්නට ගිය ගැටුම නිසා දෙදෙනාටම සිදුවූ සිත් වේදනාව ගැන ඔබ දෙදෙනාම පසුතැවිල්ලට පත් වනු ඇත.
කෝපය යනු  සම්පූර්ණයෙන්ම ඔබේ හැසිරීම. කතාබහ, සිතීම ආදී භාවයන් තීරණය කරනු ලබන  හැඟීමක් බව මතක තබා ගත යුතුය. මේ නිසා කේන්තියෙන්  කෝපයක් ඇති වූ විට කළ යුතු  හොඳම දෙය වන්නේ කෝපය   නැතිවන තුරු කිසිවකු සමග කතා නොකර සිටීමය. ඒ කාලය සින්දුවක්  ඇසීමට හෝ ‍පොතක්  කියවීමට වුවද  යොදා ගත හැකිය.  එය ඔබේ ශීලාචාර බවටද  හේතුවක් වනු ඇත. 

1 comments: