Pages

Friday, August 14, 2015

මල බද්ධයට අයුර්වේද ප්‍රතිකාර......................

ඔබගේ ජීවිතයේ සතුට රැඳී ඇත්තේ සිතේ යැයි කිවහොත් ඔබට එය අරුමයක් නොවෙයි. සිත තුළ රැඳෙන සතුට විඳින්නට සිත මෙන්ම ගත ද 50% ක් දායක කරනවා. සිත සතුටින් තබන්නට ශරීරය ගොඩක් වෙහෙස ගන්නවා. ඒ නිරෝගීව තබා ගන්නටයි. මෙලෙස නිරෝගීව තබන්නට අප ගන්නා ආහාර බෙහෙවින් ප්‍රධාන තැනක් ගන්නවා.
බඩ කට පිරෙන්න කෑම ගත් පසු අපට දැනෙන සුවය තමයි සිතේ සතුට. ආරම්භයේ දී සිතෙත් සතුටක් ගැන කියන්නෙ මන්ද යැයි ඔබට දැන් ගැටලුවක් පැන නගිනවා ඇති. මම සතුටක් ගැන මතක් කර දුන්නේ අපට සෑම විටම ගැටලු ඇති කරන ආහාර ජීර්ණ පද්ධතිය නිසි ආකාරයට පවත්වා නොගැනීමෙන් ඇතිවන මල බැහැර වීම සම්බන්ධව පවතින කරුණු සතුටට හේතු නොවන නිසයි.
මේ සමාජයේ බෙහෙවින් දකින්නට ඇති මානසික සුවය නැති කරන්නට තුඩු දෙන හේතුවක් තමයි ආහාර ජීර්ණ ක්‍රියාවලිය නිසි ලෙස නොපවත්වා ගැනීම. ඉන් අපට මල පහවීම සම්බන්ධව නොයෙක් රෝග ඇති වේ. මෙය මල බද්ධයයි.
* අපගේ ශරිරය තුළ මේ ආහාර ජීර්ණය නිසි පරිදි සිදු නොවීම නිසා ඇතිවන අපහසුතා මොනවාද?
ප්‍රධානවම මල නිසි පරිදි බැහැර නොවීම මෙවැනි තත්ත්වයකදී සිදු වෙනවා. මල බද්ධය 2-30% ප්‍රමාණයක් ජනගහනයෙන් පීඩා විඳිනවා. මෙය රෝගයක් වෙනවා. නිසි ආකාරයෙන් මල බැහැර නොවීම හෝ ඉතා අපහසුතාවෙන් මල බැහැර කිරීම මෙහිදී තව දුරටත් අනාවරණය කළ හැකියි. මහ බඩවැලේ ඇතිවන චලනය ඉතා හෙමින් ඇතිවීම, ගුදයෙන් මල බැහැර කිරීමේ අපහසුව හෝ මේ දෙකෙහිම එකතුවක් වශයෙන් අන්ත්‍රවල ඇති චලනයේ මන්දගාමී ස්වරූපය සමඟින් මල මාර්ගය අවහිර වීම සිදුවෙනවා. එවිට මල බද්ධය ඇති වීම සිදු වේ.
* යම් කෙනෙකුට ආහාර රුචිය ඇති වන්නේත් බඩගින්න ඇති වන්නේත් මල බද්ධය නැති නිසාද? මෙය ඊට බලපානවාද?
පුද්ගලයෙක් දිනකට වරක් හෝ දෙවරක් මල පිටවීම සිදු කළ යුතු වෙනවා. පුරුද්දට අනුව දින 2 ට හෝ 3 ට වරක් මල බැහැර කරන්නන් ද සිටිනවා. මල බද්ධය නැතිනම් මෙය ලෙඩක් නොවේ. සුවසේ මල බැහැර වීම සිතේ සතුටක් ද තෘප්තියක් ද ඇතිවෙනවා. එවිට බඩගින්න ඇතිවී ආහාර රුචිය ඇතිවීම සිදු වෙනවා.
* මල බද්ධයට බලපාන වෙනත් හේතු මොනවාද?
ආයුර්වේදයට අනුව මෙය වාත දෝෂයක් නිසා ඇති වේ. එයට පිත හා කළු දෝෂයක් ද සම්බන්ධ විය හැකි වෙනවා. උෂ්ණ කාලවල දී විවිධ හේතුන්ගෙන් කුපිත වන නිසා මල වියළි වීම සිදු වෙනවා. ඒ අනුවත් මල බද්ධය ඇති වීම සිදු වේ. මෙසේ විව්ධ හේතුන්ගෙන් කුපිත වන කළු නිසා ද මල වල ඇලුනු ස්වභාවයක් ගන්නවා. මේ තත්ත්වය වැඩි වී අධික වූ සෙම මඟින් මල මාර්ගය අවරෝධකර මල බද්ධය ඇති කරනවා. සමහරුන්ට උපතින්ම මල බද්ධය ඇතිවෙනවා. ගර්භණී භාවය මෙන්ම වයසට යාමත් සමඟම මල බද්ධය වැඩි වෙනවා. මෙවැනි තත්ත්වයක් බලපානු ලබන්නේ කෙඳි සහිත ආහාර අඩුවෙන් ගැනීම, ජල පානය අඩු වීම හා ගන්නා ආහාර ප්‍රමාණයේ අඩුකම. සමහර ඖෂධ වර්ග භාවිතය (දියවැඩියාව, තයිරොයිඩ් ග්‍රන්ථි , වාත රෝග , මාංශ ක්ෂය , සුසුම්නා ආඝාත, අන්ත්‍ර ගත පිළිකා, අන්ත්‍රය යම් හේතුවකින් පටුවීම , ගුද මාර්ගයේ පැලීම් යනාදි රෝග) අධික තැටමීම නිසා මල බැහැර වන ස්ථාන අවහිර වීම වැනි දෑ නිසාය.
* මල බද්ධය ඇතිවන මුල් අවස්ථාවේ දී පිළියම් නොයෙදුවොත් ඇති වන සංකූලතා හෙවත් ආබාධ මොනවාද?
මල බද්ධය ඇතිවිට මල බැහැර කිරීමේ අපහසුව, මල ඝනව හෝ ඝන කැට වශයෙන් පිටවීම සිදු වෙනවා. ඊට අමතරව උදරයේ වේදනාව , බර බව, බඩ පුරවා දැමීම, හිසරදය යනාදිය ද ඇති වෙනවා. අර්ශස් , හර්නියා , ගුද හා යෝනි මාර්ගය පහත් වීම හා අධික ලෙස තැටමීමෙන් ගුද - ආශි‍්‍රත මාංශ පේශීන්ගේ දුර්වලතාව ඇතිවීම සිදු වෙනවා.
* මල බද්ධයෙන් වැළකීමට නම්?
1. කෙඳි සහිත ආහාර වර්ග සැළකිය යුතු ප්‍රමාණයක් ඔබගේ ආහාර වේලකට එක්කර ගන්න. එවිට ඉහත සඳහන් කළ පරිදි අන්ත්‍රවල චලනය වැඩිකර දිය වූ ආහාර ගුදය වෙත යාමේ කාලය අවම කරගන්න පුළුවන් වෙනවා. වරකට බැහැර වන මල වල ප්‍රමාණය වැඩි කරනවා.
තවද අන්ත්‍ර තුළ සිටින ක්ෂුද්‍ර ජීවීන්ගෙන් සිදුවන ආහාර පැසවීමේ කි‍්‍රයාවලිය වැඩිකර මල වල ප්‍රමාණය වැඩි කර ගන්නට පුළුවන්.
කුරුට්ට සහිත ධාන්‍ය, රනිල කුලයේ ශාකවල ඇට, එළවළු පලතුරු කොළ වර්ග මේ සඳහා සුදුසුයි.
2. දිනකට ජලය ලීටර් 3 පානය කරීම. මෙය ආහාරවල දිරවීමට මෙන්ම මල වල ඝන බව අඩු කිරීමට හේතු වේ. උදේ තේ පානයට පෙර මඳ උණුසුම් වතුර වීදුරුවක් පානය කරන්න.
3.ඉක්මනින්/හදිසියෙන් ආහාර නොගන්න. ආහාර හොඳින් සපන්න.
4.පෝෂ්‍යදායී සමතුලිත ආහාර වේලක් ගන්න. ධාන්‍ය, අල, එළවළු, කොළ වර්ග, මාංශ වර්ග, පලතුරු, කිරි වර්ග ආහාරයට එකතු කර ගන්න.
5. බැඳපු ආහාර, කුරුට්ට රහිත ක්ෂණික ආහාර කාබයිට් වර්ග ආහාරයට නොගන්න.
6.මත්පැන්, සිගරැට් භාවිතා නොකරන්න.
7.ව්‍යායාම, යෝග ව්‍යායාම කරන්න. මානසික ආතතියෙන් වළකින්න.
8. උදෑසන කොළ කැඳ වීදුරුවක් පානය කරන්න.
9.මල පහ කිරීමට වේලාවක් වෙන් කරගන්න. එය පුරුද්දක් කර ගන්න.
* ගත යුතු ආහාර
නිවුඩු සහිත තැම්බු/කැකුළු සහල් වලින් පිසූ බත්, මුං ඇට, කවුපි, කඩල කුරහන් වලින් සෑදු ආහාර, තිරිඟු, බඩ ඉරිගු, කොළ පැහැති එළවළු වර්ග, වැටකොළු, පතෝල, රාබු, කැරට්, ගෝවා, පිපිඤ්ඤා , කැකිරි, ලබු, කීඩාරම්, වට්ටක්කා, කොහිල, නෙළුම් දඩු හා අල කොළ වර්ග, ගොටුකොළ, නිවිති, සාරණ, කතුරු මුරුංගා, මුකුණුවැන්න, ගැටතුඔ, උක්ගස්, අඔ, ඇපල්, මිදි, දෙළුම්, බෙලි ,කෙසෙල්, ගස්ලබු, ලුණු කැඳ මෝරු
* ඖෂධ වර්ග ලෙස
ත්‍රිපලා චූර්නය, තේ හැදි 1/2-1 නටන උණු වතුර කෝප්ප 1/2 දමා තැම්බෙන්න තබා බීම, අරළු චූර්නය, උක් හකුරු සමඟ ගැනීම විරේචන ඖෂධ හා වස්ති කර්ම යෙදිය හැකියි. මෙලෙස සඳහන් කරන ආහාර පාන ගැනීමෙන් හා නිසි ගති පැවතුම් වලින් යුක්තව යහපත් චර්යා අනුගමනය කිරීමෙන් ඔබේ දිනපතා අපහසුවක් නොමැතිව බැහැර කළයුතු අපද්‍රව්‍ය මල මඟින් නිසි ලෙස බැහැර වෙනවා. මෙය පුද්ගල සෞඛ්‍ය හොඳින් පවත්වා ගන්නට රුකුලක් වනවා. කෙසේ වෙතත් මේ කිසිවකින්වත් යහපතක් නොලැබේ නම් නිසි වෛද්‍යවරයකු හමු වී රෝග හේතුවට ප්‍රතිකාර කර ගත හැකියි.

0 comments:

Post a Comment