Pages

Monday, September 28, 2015

බුද්ධදාස රජුගෙ ලාහුගල ගිරි ලිපිය


මහාවංසය, රාජාවලිය ආදී ඓතිහාසික මූලාශ්‍රවල ඉමහත් ගෞරවාදරයෙන් වර්ණනාවට ලක් කෙරෙන රාජ චරිතයක් ලෙස බුද්ධදාස රජුගේ චරිතය හැඳින්විය හැකිය. වංසකතාකරුවන් විසින් මෙතුමා හඳුන්වනුයේ බෝසත් ගුණැති යහපත් පාලකයකු හා දක්ෂ වෙදැදුරකුද වශයෙනි. තිරිසන් සතුන් කෙරෙහි පවා කුලුණු ගුණ දැක්වූ මෙතුමා රෝගී වූ සතුන්ද සුවපත් කළ බව සඳහන් වේ. එමෙන්ම විහාරාරාම ඉදිකරමින් සම්බුද්ධ ශාසනයේ උන්නතියට ද ප්‍රශංසනීය සේවාවක් කළ රජ කෙනකු වශයෙන්ද මූලාශ්‍රවලින් බුද්ධදාස රජු හඳුන්වා දී ඇත. බුදු දහමට මෙතුමා කළ සේවාව වංස කතාවලින් මෙන්ම ශිලා ලේඛනවලින් ද සනාථ වේ. ඒ සඳහා ප්‍රබල සාක්ෂියක් ලෙස අම්පාර ලාහුගල ගිරි ලිපිය සැලකිය හැකිය.
නැඟෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ පානම ග්‍රාම නිලධාරි වසමේ ලාහුගල නාවික හමුදා කඳවුරේ 14 කණුව ආසන්නයේ පැරැණි ස්තූපය අසලින් උක්ත ලිපිය පිටපත් කර ඇත. ශිලා ලේඛනයේ සාමාන්‍ය දිග මීටර් 1 සෙන්ටි මීටර් 20ක්ද, පළල සෙන්ටිමීටර් 50ක්ද වේ. ලේඛනයේ අක්ෂර ස්වරූපය අනුව එය ක්‍රි.ව. 3 සියවසට දින නියම කළ හැකිය. ඒ අනුව ප්‍රස්තුත ශිලා ලේඛනයේ අක්ෂර අපර බ්‍රාහ්මී වන අතර භාෂාව පුරාණ සිංහල වේ.


පෙළ
බුදදස රජි ම විහාර ක ර වය වෙය දිසියෙ මහ බි
කුසගහට දිණි
අර්ථය
බුද්ධදාස රජු විසින් මහා විහාරය කරවා චෛත්‍ය දිසාවේ මහා භික්ෂු සංඝයාට පූජා කරන ලදී.
රාජකීය නාමය සඳහන් සෙල් ලිපි අතරට ලාහුගල ලිපි ද අයිති වනුයේ බුද්ධදාස රජුගේ නම එහි සඳහන් වන බැවිනි. ලේඛනයේ අක්ෂරවල කාලයත් එහි සඳහන් රාජකීය නාමයත් අනුව මේ ලේඛනයේ සඳහන් රජු, ක්‍රිස්තු වර්ෂ 3 සියවසේ මෙරට රජ කළ බුද්ධදාස (ක්‍රිස්තු වර්ෂ 340 _ 368) රජු ම යැයි නියත වශයෙන් ම කිව හැකිය. ශාසනික වශයෙන්ද, දේශපාලනික වශයෙන්ද, පොදුවේ රටවැසියා වෙනුවෙන්ද ප්‍රශස්ත සේවාවක් ඉටු කළ බුද්ධදාස රජු පිළිබ¼දව මහාවංසයේ සඳහන් වනුයේ මෙසේය. බුද්ධදාස රජු විසින් "දහම් දෙසන භික්ෂුන්ට බෝගයන් හා කැපකරුවන් දුන්නේය. සිවුපසයෙන් යුක්ත විහාර ද පිරිවෙන්ද වැව් ද දන්හල් ද පිළිම ගෙවල් ද කරවීය." යනුවෙන් මහාවංසය සඳහන් කරයි.
මේ රජු විසින් කළ විහාර කර්මාන්ත පිළිබඳ රාජාවලිය දක්වනුයේ මෙසේය."මෙසේ හැම විහාර කරවා සාංඝික කොට පිළිගන්වා සංඝයා සියයකට නිතිපතා දන් දෙනා... මොරපාය, පැපිලි වෙහෙර කරවා බොහෝ සංඝාරාම කරවා.." යනුවෙනි.
ඓතිහාසික මූලාශ අනුව පෙනී යනුයේ බුද්ධදාස රජු බොහෝ විහාර ආරාම කළ බවයි. මේ වංසකතා තොරතුරු සනාථ කරන ප්‍රබල සාක්ෂියක් අප සාකච්ඡාවට භාජනය වන ලාහුගල ලිපියෙන් අනාවරණය වේ. එනම් බුද්ධදාස රජු විසින් මහා විහාරයක් කරවා එය සංඝයා විෂයෙහි පූජා කළ බවයි. බුද්ධදාස රජු විසින් විහාර ආරාම කරන ලද ගම් පිළිබඳ ව මූලාශ්‍රවල සඳහන් වුවද, ඒ ගම් අතර උක්ත ශිලා ලේඛනයේ ඇති ස්ථානයේ වර්තමාන නාමය වන "පානම" යන නමට ආසන්න වශයෙන් හෝ ව්‍යවහාර වන නමක් නොදැක්වේ. එසේ වුවද රජු විසින් බොහෝ සංඝාරාම
කරවූ බැව් උක්ත ඓතිහාසික මූලාශ්‍රවල වාර්තා වේ.

ඒ අනුව බුද්ධදාස රජු විසින් බොහෝ විහාර කර්මාන්ත සිදු කළ බැව් වංස කතාකරුවන් පවසන සඳහන ලාහුගල ශිලා ලේඛනය තවදුරටත් තහවුරු කරයි. ප්‍රස්තුත ශිලා ලේඛනයේ අන්තර්ගතය අනුව බුද්ධදාස රජු විසින් මහා විහාරයක් කරවා එය චෛත්‍යය දිසාවේ මහා භික්ෂු සංඝයා වෙත පූජා කර ඇත. මෙහි චෛත්‍ය දිසාවේ යනු ස්තූපය දිසාවේ වාසය කරන භික්ෂු සංඝයා ලෙස සිතිය හැකිය. වර්තමානයේ ද මේ ස්ථානයේ පැරැණි ස්තූපයක් දක්නට ඇත. ඉන් පැහැදිලි වනුයේ අතීතයේ මෙකී ස්ථානය භික්ෂුන් වහන්සේ වැඩ වාසය කළ ආගමික ආයතනයක් ලෙස පැවතුණ බවයි.

0 comments:

Post a Comment